Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

මගේ සිහිනය වන්නේ එහිදී ශතකයක් ලබා ගැනීමයි

dimuth karunaratne

සාර්ථක ආරම්භයක් ගෙන දෙන්නේ ජයග‍්‍රාහී නිමාවකි. ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම පසුගියදා එලෙසින් ටෙස්ට් තරග මාලාවක ජයග‍්‍රහණය සනිටුහන් කළේ හොඳ ආරම්භයක් ලැබුණු නිසාය. ඒ හොඳ ආරම්භය උදෙසා දිමුත් කරුණාරත්නගෙන් ලැබුණු දායකත්වය අගය කළ යුතුමය.

ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස දිමුත් පසුගිය කාලයේදී දිගින් දිගටම ඉහළ දක්ෂතා දැක්වුවේය. විටෙක එක පිට එක කඩුළු දැවී යද්දී ඔහු ශ්‍රී ලංකා පිලේ නැංගූරම බවට පත් වී විශේෂ දක්ෂතා පෙන්වීය. එලෙසින් අද ශ්‍රී ලංකා ටෙස්ට් පිළේ නැංගූරම වී සිටින දිමුත්, සඳැල්ල කතා බහකට එක් වූ මොහොතකි මේ.

දිමුත් බොහොම සතුටින් වගෙයි පෙනෙන්නේ?
ඇත්තෙන්ම ඔව්. හැම දෙයක්ම හොඳින් සිදුවෙන නිසා සතුටින්. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ජයග‍්‍රහණ සොයමින් සිටියෙ. ඉතින් කණ්ඩායමක් ලෙස ලැබූ මේ ජයග‍්‍රහණය ගැන අපි ඔක්කෝම සතුටින් සිටින්නේ.

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගූරම කියලා බොහෝ දෙනා ඔබට කියනවා.

සංගලා, මහේලලා කණ්ඩායමෙන් සමුගත්තාම එයාලා කණ්ඩායමට ලබා දුන් දායකත්වය වගේ අපිත් අපේ දායකත්වය ලබා දිය යුතුයි කියලා මම විශ්වාස කළා. පිතිකරුවකු ලෙස කණ්ඩායමේ ජයග‍්‍රහණය උදෙසා යාමේදී ලොකු වගකීමක් තියෙන්නේ. එය වටහාගෙනයි මම ක‍්‍රීඩා කරන්නේ.

ඇත්තම කියන්න ඔබටත් රඟපෑමට ආරාධනා එහෙම ලැබෙනවලූ නේද?

බිරිඳ අනුරාධා රඟපාන නිසා මම ඒ අංශය ගැන හිතන්නෙ නැහැ.

හැබැයි ඇය රඟපාන දේ මම නරඹන කෙනෙක් වීම නිසා ඉස්සරට වඩා දැන් දැන් රඟපෑම ගැන අවබෝධයක් නම් තරමකට තියෙනවා.

කොහොමද විවාහ ජීවිතය?

හොඳින් ගෙවෙනවා. ඔක්කෝමලා සතුටින්. මම හිතන්නේ ජීවිතයට අවශ්‍ය වෙන්නේ ඒ සතුටයි.

ඔබගේ කාර්ය බහුලත්වය හමුවේ ඇය ප‍්‍රතිචාර දක්වන්නෙ මොන විදියටද?

ඇයට ක‍්‍රිකට් ගැන හොඳ අවබෝධයක් තිබෙන්නේ. ක‍්‍රීඩකයකුගේ මනස තැබිය යුතු විදිය ගැන අනුරාධා දන්නවා. බොහෝ වෙලාවට තරග නැරඹීමට පැමිණෙනවා. ඒ වගේම සංචාරවලට යද්දීත් මා එක්ක ඇවිත් මාව දිරිමත් කරනවා.

ඇය රඟපානවට ඔබ කැමතිද?

ගෙදර අය නම් එච්චර කැමති නැහැ. නමුත් ඇය ඇයගේ හැකියාවෙන් ප‍්‍රයෝජන ගැනීම ගැන මගේ තහංචි නැහැ. ඇය රඟපෑ නිර්මාණ කීපයක් එළිදැක්වීමට නියමිතයි. ඉතින් ඒ දිහා බලා සිටිනවා.

රඟපෑමට හැර ඇය වෙන මොනවට ද දක්ෂ?

ඇය නර්තනයට බොහෝ දක්ෂයි. ඒ වගේම බිරිඳක් ලෙස ගෙදර දී මට අවශ්‍ය කෑම බීම රසට හදලා දෙනවා. ඒ අවබෝධය ඇය සතුයි.

දිමුත් පසුගිය කාලයේදී වඩා සාර්ථක වුණේ මොන වගේ දෙයක් නිසාද?

ඇත්ත වශයෙන්ම අත්දැකීම් හරි වැදගත්. ඉතින් අත්දැකීම් එක්ක පරිනත වෙද්දි අවබෝධය ලැබෙද්දි පිතිකරණය දියුණු වෙනවා. දැනට ටෙස් තරග 50 කට ක‍්‍රීඩා කරලා තියෙනවා. එය හොඳ අත්දැකීමක්.

දිමුත් එක් දින තරගවලටත් වඩා සුදුසුයි කියලා බොහෝ දෙනා කියන්නේ?

මාත් එහෙම හිතනවා. ඒත් දිගින් දිගටම ඒ වෙනුවෙන් අවස්ථා ලැබුණෙ නැහැ. ලැබුණොත් අනිවාර්යයෙන්ම ඉහළ දක්ෂතා පෙන්වීමට උනන්දු වෙනවා. ටෙස්ට් තරගවලදී එක දිගට තරග ලැබුණු නිසා දක්ෂතා පෙන්වුවා.

දිමුත් විලාසිතා කරන්න රුසියෙක්ලූ නේද?

ඕනැම කෙනෙක් හැඩට ඇඳලා ඉන්න කැමැතියි. ඉතින් මාත් ඒකට කැමතියි. ක‍්‍රීඩකයකු වුණාම එය තවත් හොඳින් කරන්න වෙනවා. මොකද ජනතාව ආදරය කරන චරිත දිහා ජනතාව බලාගෙන ඉන්නවා. ඒ නිසා සුන්දරව ඉන්න මම කැමතියි. ප‍්‍රිය මනාපෙට ඉන්න මම හරි ආසයි.

වඩා ආසා කරන විලාසිතාව?

විවේකීව සිටියදී කොට කලිසම ටී ෂර්ට් එක සහ සෙරෙප්පු දාගෙන ඉන්න කැමතියි. ඒක මගේ ප‍්‍රියතම විලාසිතා ක‍්‍රමය වුණත් අවශ්‍ය සහ සුදුසු විදියට විලාසිතා කරන්න මම ආසයි.

ඒ හැර ඔබගේ ප‍්‍රියතාවයන් මොනවද?

රටේ දුර පළාත්වලට සංචාරය කරන්න ආසයි. විවේකයක් ලැබුණු විගස ඒ විදිහට සංචාරයේ යෙදෙනවා.

වාහන පදවන්න බොහෝම ආසයි කියන්නේ?

ඇත්තෙන්ම ඔව්. ඕනෑ තරම් දුරක් වාහන පදවාගෙන යන්න ආසයි. ඒක මගේ විනෝදාංශයක්. හිතපු ගමන් එක්කෝ ත‍්‍රිකුණාමලය නැත්නම් ගාල්ල ඒ වගේ රටේ විවිධ තැන්වලට යනවා පවුලේ අයත් එක්ක. ඒ විදියට සංචාරය කරන්න ආසයි.

ඔබ වඩා ප‍්‍රිය කරන විදේශීය ක‍්‍රීඩකයා කවුද?

නවසීලන්ත කණ්ඩායමේ කේන් විලියම්සන්ට කැමතියි. ඔහු සමග කතා බහ කරලා තියෙනවා. ඇත්තෙන්ම ඔහුගෙන් ගත හැකි දේ බොහෝමයි.

ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ලෙස ඔබගේ වඩා ප‍්‍රිය කරන ක‍්‍රීඩා පිටිය මොකක්ද?

එංගලන්තයේ ලෝඞ්ස් පිටියට හරිම ආසයි. මගේ සිහිනය වන්නේ එහිදී ශතකයක් ලබා ගැනීමයි. දැනට තරග දෙකක් විතරයි එහි ක‍්‍රීඩා කළේ.

ලංකාවේ ක‍්‍රීඩා පිටි අතරින් එස්එස්සී සහ ගාලූ ක‍්‍රීඩා සමාජ පිටියට හරිම ආසයි. ඒවායෙහි තණ තීරු පිතිකරුවන්ට වඩා යෝග්‍යයි.

ගාලූ පිටිය අහිමි වුණොත් ?

ඒක හරිම ලස්සන පරිසරයක ඇති ලස්සන පිටියක්. අපට බොහෝ තරග දිනා දුන් ක‍්‍රීඩා පිටියක්. එය අපට අහිමි වන එකක් නැහැ කියලා මා විශ්වාස කරනවා.

ඔබ ලංකාවේදී වඩා දක්ෂතා පෙන්නුවේ?

ගාලූ පිටිය තමයි.

මේ දිනවල එකම සිංදුවක් දිගින් දිගටම අහන්නේ ඇයි?

එක් එක් කාලවලදී එක් එක් ගීතවලට ආසයි. මේ දිනවල සංඛ දිනෙත්ගේ රිදෙන නොරිදෙන ගීතයට හරිම ආසයි. ඒ වගේම තව සිංදු ලිස්ට් එකක් තියෙනවා. තරගයකට යාමට පෙර මනස සැහැල්ලූවෙන් තබා ගැනීම වැදගත්. ඉතින් ඒ වෙලාවට මම කරන්නේ ඒ සිංදු අසමින් ක‍්‍රීඩා පිටියට යාමයි.

ආරම්භක පිතිකරුවා ලෙස පළමු පන්දුවට මුහුණ දීමට සිදු වීම මොන වගේද?

මම හිතන්නේ තරගයක දී පළමු පන්දුවට මුහුණ දීම තරම් අසීරු දෙයක් තවත් නැහැ. විශේෂයෙන්ම ආරම්භක පිතිකරුවකුට එය විශාල පීඩනයක්. පළමු පන්දුව තමයි භයානකම පන්දුව. මුලින්ම ඉනිම අරඹන කෙනාට තමයි ඒ අභියෝගය ඉහළින්ම තියෙන්නේ.

   

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + nine =

To Top