Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Political

මාගම්පුර – සිරගෙදරදී නාමල්ගෙන් යෝග ව්‍යායාම; ජුලම්පිටියේ අමරගෙන් නාමල්ලාට ඇඳුම්

Namal Rajapaksa

මාගම්පුර – සිරගෙදරදී නාමල්ගෙන් යෝග ව්‍යායාම

හම්බන්තොට විරෝධතාවය සම්බන්ධයෙන් රක්‌ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ නාමල් රාජපක්‌ෂ, ඩී. වී චානක, ප්‍රසන්න රණවිර, සම්පත් අතුකෝරල, උපාලි කොඩිකාර, අජිත් ප්‍රසන්න ඇතුළු පිරිස තංගල්ල බන්ධනාගාරයට රැගෙන එනවිට මධ්‍යම රාත්‍රියද පසුවී තිබුණි. මාස එකහමාරක්‌ විතර රිමාන්ඩ් එකේ ඉන්න වෙනවා. ඒ ගැන කතා දෙකක්‌ නැහැ. සම්පත් අතුකෝරල කීවේය. සියල්ලෝම සම්පත්ගේ කතාව අනුමත කළහ. බන්ධනාගාර ජීවිතය කටුක වුවත් එයට මුහුණදීම සඳහා නාමල් රාජපක්‌ෂ ඇතුළු පිරිස හිත හදාගෙන තිබුණි. ඔවුන් මානසිකව වැටුණේ නැත. පළමුදින නාමල්ලා ඇතුළු පිරිසට රැය පහන් කිරීමට සිදුවූයේ විශේෂ සිරමැදිරි දෙකකය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල්, ප්‍රසන්න, ඩී. වී. චානක එක්‌ විශේෂ සිරමැදිරියක රඳවනු ලැබීය. ඒ අසල තිබූ අනික්‌ සිරමැදිරියේ සම්පත්, අජිත් ප්‍රසන්න හා උපාලි කොඩිකාර රඳවනු ලැබීය. නාමල් ඇතුළු පිරිසට එදින රාත්‍රිය ගත කිරීමට ඇඳුම් පැළඳුම් පවා ගෙන ඒමට නොහැකි විය.

ජුලම්පිටියේ අමරගෙන් නාමල්ලාට ඇඳුම්

ඒ නිසා මෙම පිරිස ගැටලු රැසකට මුහුණ දී සිටියහ. නාමල් ඇතුළු පිරිස වෙනුවෙන් උදව් කිරීමට බන්ධනාගාරගතව සිටින ජුලම්පිටිය අමරේ ඉදිරිපත් විය. ඔහු මෙම පිරිසට අලුත් ඇඳුම් පැළඳුම් මෙන්ම පරණ ඇඳුම් ගෙනවිත් දීමට කටයුතු කළේය. නාමල් රාජපක්‌ෂ ඇතුළු පිරිසට බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගෙන්ද තිබුණේ ඉහළ පිළිගැනීමකි. ජුලම්පිටියේ අමරේ නිරතුරුවම මෙකී පිරිස ගැන සොයා බැලීය. එම විශේෂ සිරමැදිරි තුළ වැසිකිළියක්‌ පවා තිබුණේ නැත. විශේෂ සිරමැදිරිය තුළ පළමු දින රැය පහන් කළ නාමල් රාජපක්‌ෂ ඇතුළු පිරිස ඉන්පසු රැගෙන ආවේ දෙකේ වාට්‌ටුවටය. එහි රූපවාහිනියක්‌ මෙන්ම කැරම් බෝඩ් එකක්‌ද තිබුණි. හය දෙනාටම නිදාගැනීමට සිදුවූයේ එක්‌ සිරමැදිරියකය. ඇඳ ඇතිරිලි දමාගෙන මොවුන් රැය පහන් කළේ මෙම සිරමැදිරිය තුළය. පිරිස අවදි කරන්නේ නාමල් රාජපක්‌ෂය. අලුයම 5.30 පමණ විට නාමල්ලා ඇතුළු පිරිස අවදිවෙති. ඉන්පසු නාමල්ගෙන් සම්පත්ලා උපාලි කොඩිකාර ඇතුළු පිරිසට ව්‍යායාම පංතියකි. පැයක්‌ පමණ මෙම පිරිසට නාමල් රාජපක්‌ෂ යෝග ව්‍යායාම කරවීමටද කටයුතු කළේය. උපාලි අයියේ නාමල් මන්ත්‍රීතුමාගේ යෝග ව්‍යායායම කරලා මගේ ඇඟ කොරවෙලා ඉන්නේ සම්පත් උපාලි සමග කීවේය. ඔහොම තමයි මල්ලි ගණන් ගන්න එපා උපාලි සිනහවෙමින් කියන්නේය. උදෑසන 8.30 පමණ වනතුරු නාමල් රාජපක්‌ෂ ඇතුළු පිරිස ව්‍යායාම කරති.

තුන් වේලටම ආහාර කාල්ටන් නිවසින්

පස්‌වරුවේද මොවුන් ව්‍යායාම කිරීමට අමතක කළේ නැත. පස්‌වරුවේ කළේ බර ඉසිලීමයි. කොසුමිටවල් කිහිපයක්‌ එකතු කොට දෙපසට වතුර කෑන් දෙකක්‌ දමා බර ඉසිලීමේ උපකරණයක්‌ සකස්‌කර ගැනීමට මේ අය කටයුතු කළහ. නාමල් රාජපක්‌ෂ ඇතුළු පිරිසට පමණක්‌ නොව විරෝධතාවය සම්බන්ධයෙන් සිරගතව සිටින අනික්‌ සියලු දෙනාටම වේල් තුනටම ආහාර රැගෙන ආවේ කාල්ටන් නිවසිනි. බන්ධනාගාරය තුළ ගත කළ දිනවල නාමල් රාජපක්‌ෂ ඇතුළු පිරිස ගත කළේ විනෝදයෙනි. උපාලි කොඩිකාර සිරකරුවන්ට ඉතා සමීපව සිටියේය. ඔහු සිරකරුවන්ට නොයෙකුත් කතාන්දර කියාදීමට අමතක කළේ නැත.

නාමල් රාජපක්‌ෂ හා චානක නම් කොහොම හරි අවදිවන්නේ නැතිව උදේ 5.30 වනතෙක්‌ නිදා ගන්නවා. අපි හිටපු සිරමැදිරිය වර්ෂාවට තෙමෙනවා. දින දෙකක්‌ විතර රාත්‍රියට පිඟන්වලට වහලයෙන් වැටෙන වතුර එතතු කරන්නත් වුණා. නමුත් අපි කවුරුවත් මානසිකව වැටුණේ නැහැ. ඇප පිට නිදහස්‌ වීමෙන් පසු සම්පත් අතුකෝරල තම හිතවතුන් සමග කීවේය.

සිරමැදිරිය තුළදී නාමල් රාජපක්‌ෂ සම්පත්ලා ඇතුළු පිරිස පොත්පත් කියවීමටද අමතක කළේ නැත. සම්පත් අතුකෝරල ‘හැත්ත එකේ අපි’ නමැති පොත කියවා අවසන් කළේය. නාමල් රාජපක්‌ෂ චේ’ ගැන ලියු පොතක්‌ ඉතා ආශාවෙන් කියෙව්වේය. රූපවාහිනී නාලිකාවල විකාශනය වන විවිධ දේශපාලන වැඩ සටහන් මෙන් ඒවා කිරීමට නාමල්ලා කටයුතු කළහ. ඒ අවස්‌ථාවක නිවේදක ධුරයට සම්පත් පණ පෙවීය. තවත් අවස්‌ථාවක අජිත්, ප්‍රසන්න නිවේදක ධුරයට පණපෙවූහ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ගැන, සීමා නිර්ණය ගැන මොවූහු දේශපාලන සංවාද කළහ. සිරගෙය තුළ සිට සම්පත් නිස`දැස්‌ ලිවීය. එක්‌ නිස`දැසක්‌ හිටපු ජනාධිපතිවරයාටද ලබා දුන්නේය. අඟුණුකොළපැලැස්‌සේ ඔබතුමා හදපු බන්ධනාගාරයේ නාමල් මන්ත්‍රිතුමා පළමු සිරකරුවා වෙන්නත් පුළුවන්.. සම්පත් තම නිස`දැසේ එසේ සටහන් කළේය.

අමරවීර ඉලක්‌ක කරගෙන මෙහෙයුමක්‌..

හම්බන්තොට විරෝධතාවයේ දී නාමල් රාජපක්‌ෂ ඇතුළු පිරිස රක්‌ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් මුහුණු පොත හරහා අමරවීර ඇමැතිවරයාට මේ දිනවල දැඩි ප්‍රහාරයක්‌ එල්ලවෙමින් තිබේ. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ අමරවීර ඇමැතිවරයා ජන පදනමක්‌ තියෙන නායකයෙක්‌. හම්බන්තොට රාජපක්‌ෂවරුන්ගේ බලකොටුවක්‌ වුවත් ඔහු ශ්‍රී.ල.නි.පක්‌ෂයේ හැම රැස්‌වීමකට විශාල වශයෙන් සෙනග රැගෙන එනවා. මේවා ඒකාබද්ධයේ අයට ඉවසන්න බැහැ. ඒ නිසා තමයි අමරවීර ඇමැතිවරයා ඉලක්‌ක කරගෙන ප්‍රහාර එල්ල කරන්නේ. එතුමා දුර්වල කරන්න තමයි මේ හදන්නේ. අමරවීරගේ හිතවතුන් කියන්නේ මෙවැනි කතාවකි. ඉදිරියේ දී තිස්‌සමහාරාම ආසනයේ ශ්‍රී.ල.නි.පක්‌ෂයේ සංවිධායකවරයා වන හිටපු කථානායක චමල් රාජපක්‌ෂ එම ධුරයෙන් ඉවත් කිරීමට තීන්දුකොට ඇති බව පැවසේ. ඒ සඳහා පළාත් ඇමැති එච්.ඩබ්ලිව්. ගුණසේන හා පළාත් සභා මන්ත්‍රි සුජිත් මුතුකුමාර පත් කිරීමට ඉඩ ඇති බවද පැවසේ.

අගමැති දකුණේ

අගමැති රනිල් වික්‍රමසිංහ මේ සති අන්තයේ රැඳී සිටියේ දකුණු පළාතේය. ගංවතුරෙන් හා නායයැම්වලින් විපතට පත් ජනතාව වෙනුවෙන් රජය මගින් ක්‍රියාත්මක කොට ඇති සහන සැලසීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සොයා බැලීමටද මෙහිදී අගමැතිවරයා අමතක කළේ නැත. සහන කටයුතු ප්‍රමාදවීම ගැන අගමැතිවරයා මෙහිදී තදින් කතා කළේය. විපතට පත්වූවන්ට ලබාදෙන සහන කටයුතු නොවැම්බර් මස අවසන්වීමට පෙර ලබා දිය යුතු බවටද මෙහිදී අගමැතිවරයා නිලධාරීන්ට නියෝග කළේය. ඉන්පසු අගමැතිවරයා දෙනියාය ආසනයේ එජාප සාමාජික ප්‍රවර්ධන වැඩ සටහන සඳහාද එක්‌ව සිටියේය. ඒ සාගල රත්නායක ඇමැතිවරයා සමගය. දෙදිනක්‌ පුරා පක්‌ෂ ප්‍රවර්ධන වැඩසටහන දෙනියාය ආසනයේ පැවැත්විණි.

අගමැතිවරයා ගෙන් ගෙට ගොස්‌ ජනතාව සමග කතාබස්‌ කිරීමටද මෙහිදී අමතක කළේ නැත. ඒ විතරක්‌ නොව පාක්‌ෂිකයින්ට පක්‌ෂය පිළිබඳව හා රජයේ වැඩපිළිවෙළ පිළිබඳ අදහස්‌ හා ගැටලු ඉදිරිපත් කිරීමට අවස්‌ථාව ලබා දුන්නේය. ඉන්පසු අගමැතිවරයා බද්දේගමට පැමිණියේය. ඒ බද්දේගම එජාප බල මණ්‌ඩල රැස්‌වීමට සහභාගිවීම සඳහාය. එජාප මන්ත්‍රී බද්දේගම එජාප සංවිධායක බන්දුලාල් බණ්‌ඩාරිගොඩ මෙකී ආසන බල මණ්‌ඩල රැස්‌වීම මැනවින් සංවිධානය කොට තිබුණේය. අගමැතිවරයා මෙම රැස්‌වීමට පැයක පමණ කාලයක්‌ වෙන්කොට තිබුණද අවසානයේ අගමැතිවරයා පැය දෙක තුනක්‌ බද්දේගම බල මණ්‌ඩල රැස්‌වීමේ රැඳී සිටියේය. බන්දුලාල් මන්ත්‍රීතුමා ඉතා දක්‌ෂ තරුණ මන්ත්‍රී කෙනෙක්‌ කෙටි කාලයක්‌ තුළ ශාඛා සංවිධාන පිහිටුවා මෙම රැස්‌වීම ඉතා මැනවින් සංවිධානය කරලා තිබෙනවා. අගමැති රනිල් බන්දුලාල්ලට සහතිකයක්‌ ලබා දෙමින් කීවේය. මගේ ගමේ උත්සවයක්‌ තිබියදි මේ රැස්‌වීමට ආවේ අයියාගේ වචනේ අහක දමන්න බැරි නිසා.. හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා තම කතාවෙන් පසු බන්දුලාල්ට එසේ පවසා වෙලාසනින් ගියේය.

රැස්‌වීමෙන් පසු තේ සූදානම් කොට තිබුණේ බද්දේගම ප්‍රදේශයේ හෝටලයකය. වජිර, ගයන්ත, බන්දුලාල්, විඡේපාල, සංජීව කරුණාතිලක ඇතුළු පිරිසක්‌ මේ සඳහා එක්‌ව සිටියහ. අගමැතිවරයා තේ මේසයේ දී පළාත් සභා මන්ත්‍රීවරු සමග වෙන වෙනම ඉතා සුහදව කතා කරමින් ඔවුන් සමග ඡායාරූපවලටද පෙනී සිටියහ. ඒ විතරක්‌ නොව බද්දේගමට අගමැතිවරයාගේ ඇති ඥාති සම්බන්ධතාවය ගැනද මෙහිදී පිරිස කතා කළහ. පැයකට බද්දේගමට පැමිණි අගමැතිවරයා තේ මේසයෙන් නැගිටින විට මධ්‍යහ්නයද පසුවී තිබුණි.

විඡේපාල සහ තිසර දුමින්ද සමග මඩට බසිති

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්‌ව සංවිධානය කරනු ලැබූ දකුණු පළාත් වප් මගුල් උත්සවය පැවැත්වුණේ ඉකුත් සතියේ ගාල්ල කපුහෙම්පලදීය. මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගි වූයේ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකය.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී විඡේපාල හෙට්‌ටිආරච්චි, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය නීතිඥ යූ. ජී. ඩී. ආරියතිලක, පළාත් ධීවර අමාත්‍ය එච්. ඩබ්. ගුණසේන යන මහත්වරුද මෙම උත්සවයට එක්‌ව සිටියහ.

මෙම වප් මගුල් උත්සවයට කෘෂිකර්ම ඇමැතිවරයා සහභාගී වී සිටියේ සූදානමිනි. සරමකින් සහ ටී ෂර්ට්‌ එකකින් සැරසී සිටි ඇමැතිවරයා පැළ සිටුවීම සඳහා සූදානම් කරනු ලැබ තිබූ කුඹුරට බැස්‌සේ තමන් හුරු පුරුදු ගොවියෙකු ලෙසිනි.

මෙහි සිටි ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී විඡේපාල හෙට්‌ටිආරච්චි සහ ගාල්ල දිස්‌ත්‍රික්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සංවිධායක තිසර ගුණසිංහ ද කුඹුරට බැස්‌සේ පැළ සිටුවීම වෙනුවෙනි.

පැළ සිටුවීමේ මැෂිම අසලට ගිය දුමින්ද දිසානායක ඇමැතිවරයා පැළ සිටුවීම ඇරඹීය. මේ සමගම විඡේපාල මන්ත්‍රීවරයා පැළ සිටවූ මැෂිමක්‌ ක්‍රියාත්මක කරමින් පැළ සිටුවීමට විනි.

විඡේපාල මන්ත්‍රීතුමාට ඒ තරම් කුඹුරු වැඩ හුරු නෑ වගේ.. විඡේපාල මන්ත්‍රීවරයා පැලසීට වූ යන්ත්‍රය නුහුරු ලෙසින් ක්‍රියාත්මක කරනු දුටු කවුදෝ කියනු ඇසුණි. තිසර ආරියතිලක ඇමැතිතුමා ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයෙක්‌. අද මේ උත්සවය උනත් හොඳට සංවිධානය කරලා තිබුණා. දුමින්ද තිසරට කීවේය.

ඒක ඇත්ත. ආරියතිලක කියන්නේ එහේ මෙහේ වැනෙන්නේ නැතිව කෙලින් තීරණ ගන්න කෙනෙක්‌. ඒවගේම කලක්‌ ගාල්ලේ දේශපාලනය කරපු කෙනෙක්‌. තිසරද දුමින්දට එකඟ විණි.

ලලිත් චාමින්ද

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 5 =

To Top