Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Entertainment

මම හරිම කැමතියි ඕනම කෙනෙක් ඇවිල්ල මාත් එක්ක හිනාවෙලා කතාබහ කරනවට

rukshana disanayaka

වැඩිපුර පේන්න හිටියට නාළිකා බදු අරගෙන නැතිලූ. චරිත කළු ද සුදු ද කියල බලන්නෙ නැතුව හරියට කරන්නලූ කැමති. අසාධාරණයට අකමැති නිසා පොඩ්ඩක් විතර නපුරුයිලූ. කටකතාවලට කිසිම බයක් නැති මෙයා රසික ආදරේට ආදරේ කරමින් සතුටින් කාලෙ ගෙවනව කියල තමයි මීවිතට කිව්වෙ.

කොහොමද රුක්‍ෂානා ජීවිතේ?

කියන්න තරම් වරදක් නෑ. ඒ වගේම ලොකු හොඳකුත් නෑ. බොහොම සරලව ඔහේ ගලාගෙන යනව. මොනව වුණත් ඒ අතර මම සතුටින්.

මේ දවස්වල නාළිකා බදු අරගෙන වගේ?

එහෙමම නෑ ඉතින් කාලෙකට පස්සෙ වැඩ ඉවර කරල තිබුණු ටෙලි හතරක් විතර එක පාරටම ප්ලේ වෙන්න ගත්ත.

වැඩිපුර කැමති මොන වගේ චරිත වලටද?

එහෙම විශේෂයක් නෑ. ලැබෙන චරිතෙ කළු ද සුදු ද දිග ද කොට ද වගේ වැඩි වං හුං හොයන්නෙ නෑ. ලැබෙන දේ භාර අරගෙන හොඳින් කරන්න තමයි මම කැමති.

චරිතයක් භාරගනිද්දි රුක්‍ෂානගෙ කොන්දේසි මොනවගේද?

කොන්දේසි දාල භාරගන්න තරම් චරිත ලැබෙන්නෙ නෑනෙ. ඒ නිසා කොන්දේසි විරහිතයි. අදාළ නිර්මාණයේ අධ්‍යක්‍ෂවරයත් එක්ක ඒ ගැන කතාබහ කරගන්නව.

ටෙලි නාට්‍යවලට වැඩි ඉඩක් වෙන්කරල තියෙන්නෙ සිනමාවට ආරාධනා නැති නිසා නේද?

ඇත්තටම ඔව්. හැම වෙලාවෙම වැඩි ඉඩක් වෙන්කරන්න ඕන අපට ලැබෙන දේටනෙ. මේ වෙනකොට ලැබිල තියෙන්නෙ ටෙලිනාට්‍ය නිසා මම කාලය වෙන්කරල තියෙන්නේ ටෙලිනාට්‍ය වලට. සිනමාවට ආරාධනා ලැබුණ දවසක ඒ සඳහා ඉඩක් වෙන්කරනව. කොහොමටත් ලැබිච්චි නැති දේකට කාට වුණත් වෙලාවක් වෙන්කරන්න බැහැනෙ.

ඔබ නපුරු දඩබ්බර චරිතයක් කියල චෝදනා කළොත්?

මම ඒ චෝදනාව පිළිගන්නවා. දඩබ්බරකම් කෙසේ වෙතත් මම සැබෑ ජීවිතේදී ටිකක් විතර නපුරුයි. රංගන ජීවිතයේදී ඉතින් චරිතෙට ඕන විදියටනෙ අපි හැසිරෙන්නෙ. නපුරුකමක් හිතේ තිබ්බත් කරුණාවන්ත විදියට හැසිරෙනවා. ඒකනෙ රඟපානව කියන්නෙ.

මෙතෙක් රඟපෑ චරිත අතරින් ඔබ වඩාත් කැමති චරිතය?

මෙහෙමයි මම කරපු චරිතවලින් එකකට වඩා තව එකක් හොඳයි කියල නම් කරන්න බෑ. මොකද ඒ එකක්වත් මම අකමැත්තෙන් කළේ නැහැනෙ. ඒ නිසා ඒ හැම චරිතෙකටම මම කැමතියි.

රසිකයො ආදරෙන් වැළඳගත්තෙ කුමන චරිතය කියල ද ඔබ හිතන්නෙ?

අනිවාර්යයෙන්ම මෙඩිසිනා නාට්‍යයේ මම කරන ජූඩිගෙ චරිතය. ඒක මට හොඳින්ම දැනුන දෙයක්.

රුක්‍ෂානා අද දවසේ පූර්ණකාලීන රංගන ශිල්පිනියක්?

රංගන ශිල්පිනියක්ම විතරක් නෙමෙයි නර්ථන ශිල්පිනියක් විදියටත් වැඩ කරගෙන යනවා. ඉදිරියේදී කලා කටයුතුවලට බාධාවක් නොවෙන විදියට බොහෝ දුරට මම රැකියාවකුත් කරයි.

ජනප‍්‍රිය වීම හිසරදයක් කියල ඔබට දැනිල තියෙනවද?

අනේ මට නම් කවදාවත් එහෙම හිතිල නෑ. ඉදිරියේදී හිතෙන එකකුත් නෑ. මම හරිම කැමතියි ඕනම කෙනෙක් ඇවිල්ල මාත් එක්ක හිනාවෙලා කතාබහ කරනවට.

නව පරපුරේ සැරපරුෂ රංගන ශිල්පිනියක් විදියට ඔබ ප‍්‍රසිද්ධයි?

ඔය සැරපරුෂ කියල මාව හඳුන්වන්නෙ මොකද දන්නවද මට කොතැනකදිවත් බොරුවයි හොරකමයි පේන්න බැහැ. එවැනි දෙයක් දුටු ගමන් කේන්ති යනවා. ඒ ගැන කතා කළාම බලන් ඉන්න අය අපිව සැරපරුෂයි කියල හඳුන්වනව.

වේදිකාවට ගොඩවෙන්න ඔබේ වැඩි උනන්දුවක් නෑ වගේ?

නැත්තෙ නෑ. මම වේදිකාවෙත් වැඩකරපු කෙනෙක්. ඒත් දැනට තියෙන කාර්ය බහුලත්වය නිසා ආරාධනාවක් ලැබුණත් වේදිකාවට ගොඩවෙන්න බැරිකමයි තියෙන්නෙ. මම වේදිකාවට හරිම ආදරෙයි. ඉදිරියේදී කොහොමහරි වෙලාව වෙන්කරගෙන වේදිකාවට ගොඩවෙනවා.

නර්තනය ජයගත් ශිල්පිනියක් හැටියට රුක්‍ෂානගෙ දැනුම අනාගත පරපුරට දායාද කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

ඇයි නැත්තෙ. මම දැනටමත් ඒ සඳහා යොමුවෙලා ඉවරයි. රුක්‍ෂානා දිසානායක ඇකඩමිය හරහා උසස් පෙළ දක්වා මම නර්තනය උගන්වනවා. ඊට අමතරව මගේම නර්තන කණ්ඩායමකුත් මම හදාගෙන තියෙනවා.

අද තියෙන වෙබ් අඩවි ගැන රුක්‍ෂානට මොකද හිතෙන්නෙ?

කාගෙ හරි ඕපදූපයක් බොරු ආරංචියක් කට කතාවත් මාකට් කරල හිට් වෙන්නනෙ ඕව හැදිල තියෙන්නෙ. අපේ ඉන්න සමහර කට්ටිය තමන්ගෙ දක්‍ෂතා ගැන හැඟීමක් නැතුව මොකක්හරි අමන වැඩක් කරල ගොසිප් එකක් මවාගෙන ඒව ඇතුළෙ වැජඹෙන්න හදනව. ඕව හොඳ ඒ වගේ අයටම තමයි.

යොවුන් වියේ පසුවන දඟකාරියක් හැටියට ඔබ කටකතාවලට බයද?

අයියෝ ඕව මොනවද කවුද ගණන් ගන්නෙ. රුක්‍ෂානා දිසානායක කියන්නෙ කටකතාවලින් බය කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි.

රූමත් රංගන ශිල්පිනියක් නිසා ආදර යෝජනා පෝළිමේ එනව කියන්නෙ ඇත්තද?

ඔව්. ආදර යෝජනා පෝළිමේ ආපු කාලයක් තිබුණා. හැබැයි ඒ රූමත්කම නිසාවත් රංගන ශිල්පිනියක් නිසාවත් නෙමෙයි මම ගැහැනු ළමයෙක් නිසා. ඒත් දැන් ඒ පෝළිම නැවතිලා මොකද බොහෝ දෙනෙක් දන්නවා මම දැන් පෙම්වතියක් කියල.

ධම්මික හේවාවසම්

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + 19 =

To Top